2013.08.22
රූකාන්තලාගේ සමාව සහ කට උත්තර නැති කිරීම
යම් අපරාධ නඩුවක විත්තිය වැරදි කරුවන් වූ විට ඒ නඩුව අවසන් වේ. රූකාන්ත චන්ද්‍රලේඛා දෙදෙනාට පීඩා කිරීමේ නඩුවේ වැරදි කරුවන්ට දඬුවම් දී ඇත. එහෙත් ඒ නඩුවේ ආන්දෝලනය තවමත් නිමවී නැති බව පෙනේ. නඩු තීන්දුව අනුව වැරදි කරුවන්වූ පුද්ගලයන් මෝඩ සිපයියන් නම් නොවේ. නිතිය හොඳින් දැන අරක්‍ෂක අංශවල සේවය කළ අය වෙති. සිද්ධියට කොටුවන විට ඔවුන් නිල වශයෙන් විධායක ජනාධීපතිට ආරක්‍ෂාව සපයමින් සිටියහ. එය ගමේ කසිප්පු අල්ලනවා හෝ වැලි ලොරි වලින් කප්පම් ගන්නවා වාගේ නොවේ. විධායක ජනාධීපතිගේ ආරක්‍ෂක අංශය හඳුන්වන්නේ එස්පීඩි යනුවෙනි. මේ කියන එස්පිඩි කාරයන් කළ තක්කඩිකම් බොහෝය. 2001 මැතිවරණයේදී රොකට් ලෝන්චයක් සමග වලපනේදී පොලිසියට කොටු වුණේ එස්පිඩී හපනෙකි. ඒ ළඟ දවසක පොරමඩුල්ල මධ්‍ය විද්‍යාල පිටියේදී හඟුරන්කත පොලිස් ස්ථානාධීපතිට මරණිය තර්ජන එල්ල කළේ එවකට සිටි එස්පිඩි ලොක්කාය. ඒ සමග සිදුවූ ආණ්ඩු විපර්යාසයක් විය. අනපේක්‍ෂිත තත්වය නිසා එස්පිඩි ලොක්කාගේ දෑතට මාංචු වැටිණ. මේ සියළු සිද්ධි මැතිවරණ කාලයක සිදුවිය. ඒ නිසා ඔහුට නැගුණ චෝදනා රාශියකි. නඩු විභාලය අවසානයේ ඔහුට මහාධීකරණයෙන් සිර දඬුවම් නියම කෙරිණ.
මේ විස්තර කළේ එස්පීඩි කළ සෙල්ලම් කිහිපයකි. රූකාන්ත චන්ද්‍රලේඛා යුවල ඒ රංචුවේ අධමයන් කිහිප දෙනෙකුට සමාව දීමට කැමැත්ත දක්වා ඇත. ඊට හේතුව ස්වකීය ආගමික විශ්වාසය බව ඔවුන් මාධ්‍යයට කියා තිබිණ. නො එසේව සමාව දීම දේශපාලන බලපෑමක් නොවේද කියා ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාදීප මාධ්‍යවේදී සඳුන් ගමගේ රූකාන්තගෙන් ඍජුව අසා සිටියේය. උත්තරය කොහෙත්ම නැත යන්නය. වැරදි කාරයන්ගේ දරු පවුල් ගැන කල්පනා කළ බවක්ද රූකාන්තලා කියා ඇත. එහෙත් රූකාන්තලාට අඩන්තේට්ටම් කළ අධමයන්ගේ බිරියන් ඇතු`ථ පවුල්වල සාමාජිකයන්ට ඒ කාලයේම රජයේ රැකියා ලබා දුන් බව ප්‍රකට කරුණකි. ඉන් ගම්‍ය වන්නේ මේ තක්කඩිකම් මනාව සැළසුම් කළ කොන්ත්‍රාත් බව නොවේද? ඔවුන් මෙහෙයවු පාලකයන් මෙහිදී උඩ විසිකර ඇත්තේ රටේ නීතිය පමණක් නොවේ. භාණ්ඩාගාර බදු මුදල්ද අමතරව වැය කළ බව පෙනේ.
මෙම ලිපිය පටන් ගන්නේ එතැනිනි. රූකාන්තලා දේව ගති පෙන්වමින් සමාව දුන්නා විය හැකිය. දීමය. නමුත් මෙහිදී ලංකාදීප මාධ්‍යවේදීයා ඇසු ප්‍රශ්නය බැරෑරුම් එකකි. පසුගිය කාලයේ මේ ආකාරයෙන් පහර කා පීඩාවට ලක්වු කී දෙනෙකු මෙවැනි ප්‍රකාශ කොට රට හිනැස්සවීද? ඒ නිසාම කී දෙනෙකු නීතියෙන් ගැලවී ගියේද? මාලක සිල්වාගෙන් පහර කෑ බුද්ධි අංශ හමුදා නිලධාරියා පසුව කළ ප්‍රකාශය අනුව මාලක සිල්වාගෙන් ගුටි කාලා නැත. මාලකගේ පියා විසින් ගස් බැන්ද සමෘද්ධි නිලධාරියා පසුව තෙමේම ගස් බැඳ ගෙන තිබිණ. අරණායක සභාපතිගෙක් පහර කෑ තැනැත්තාත්, නවගත්තේගම පාසලේ උප විදුහල්පති වරයාත් කළ පැමිණිලි වහාම අස්කර ගත්හ. උප විදුහල්පති පසුව අධිකරණයට කීවේ එහෙම කළේ මරණ තර්ජන නිසා බවය. තංගල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක්ගෙන් ගුටි කෑ බස් සේවකයන්ද පසුව කීවේ තමන් ගුටි නොකෑ බවකි. රතුපස්වල සටන මෙහෙයවූ තෙරිපැහැ සිරිධම්ම හාමුදුරුවෝ එක් සතියක් තුල ප්‍රකාශ දෙකක් හරහා සිය සටන අකුලාගෙන ඇත. දැරණීයගල සිරියා සහ සැන්ඩෝ යන දෙදෙනා ඇප පිට ගමට පැමිණි හැසිරුණේ මේ වාසිය ගන්නටය. මේ නින්දිත රටේ අහිංසක මිනිසුන් පීඩාවට ලක් වෙනවා පමණක් නොවේ. දෙවනුව මෙසේ සිය ආත්ම ගෞරවයත් කෙළෙසා ගනී.
මේ සිද්ධ වෙන්නේ කුමක්ද? බලයේ ඔටුන්න ඩැහැගෙන කරකවමින් රට කැත කිරීමය. ජනාධීපති ආරක්‍ෂක අංශයෙන් පටන් ගෙන දැරණියගල නූපේ කසිප්පු කාරයන් පවා සංවිධානාත්මකව මේ කරන්නේ තමන්ට එරෙහි සාක්‍ෂිකරුවන් බිය ගැන්විමය. මෙය බරපතල තත්වයකි. එසේම හලාවත ඉන්ධන සහනාධාර සටනේදී ධිවරයෙකු වෙඩිකා මළේය. නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ලක්‍ෂ ගණනක වන්දි වන්දි සල්ලිත් ගෙන මරණ ගෙදර ගියේය. පොලිස් රාජකාරියක් නොවේ. ඉන්ෂූරන්ස් වැඩකි. ඉහළින් ආ නියෝගයකි. මළ ගෙයක් බිය වද්දන ගොන්පස් ඇල්ලීමකි. එහි තිබුණේ මුදල් නොවේ. රාජ්‍ය බිය වැද්දීමකි. ඒ ප්‍රයත්නය වැරදිණ. ඉන්පසුව මියගිය ධීවරයාගේ අවමංගල්‍යය ගැන උසාවි නියෝග නිකුත් විය. 1989 ඝාතන වලට පසුවත් මෙහෙම සිද්ධ විය. අවස්ථා දෙකේම කළේ අවසන් ගෞරවය සීමා කිරිමකි. මෙහිදී අධිකරණය මැදිහත් වුනේ මහජන කැළඹීම නම් නීතිය අනුවය. එහෙත් ඒ නිතිය අනුව වැලිවේරිය ෆැක්ටේරිය සතියකට වැහුවා නම් වෙඩි කා මළ තිදෙනාත් ආරක්‍ෂාවේ. ආණ්ඩුවත් සැපෙන්ය.
මේ සිදු කරන පහරදීම් බිය වැද්දීම් එක ගමට එක වැඩක් ආදි සංවර්ධනයේ කොටසක් නොවේ. සිද්ධ වන්නේ මනාපයෙන් බිහිවූ තක්කඩීන් සමාජය තුල සිය බල පරාක්‍රමය ව්‍යාප්ත කර ගැනීමය. මේ තක්කඩීන් පළමුව නිතිය අතට ගෙන තඩිබාති. දෙවනුව පීඩාවට පත් පුරවැසියා අර තක්ඩියා විසින්ම නිවට නියාලු කරවයි. ඒ පසුපස සමහර විට මුදල් වාසියකි. හෝ වෙනත් ප්‍රතිලාභයකි. ඊට පසුව අවමානයට අයසට භිතියට ගොදුරු වන්නේ ඍජුව මැදිවු වින්දිතයා පමණක් නොවේ. සකල සමාජයම එයින් බිය ගන්වති.
මේ නිසා මුළු මහත් සමාජයටම අනියමින් ලැබෙන පණිවිඩය බරපතල එකකි. එනම් නිහඬ වෙයල්ලා. රටේ නීතිය නම් අපය. අපට එරෙහිව අත කට හෙල්ලුවොත් කට උත්තරයත් වෙනස් කර ගන්නට සිද්ධ වේ. යන්නය. ඉස්සර කට උත්තර නැත කිවේ මරා දමනවාට හෝ රෝහල් ගත කර විරුද්ධවාදියා නිහඬ කරනවාටය. අද කට උත්තර නැත කීමේ අර්ථය අ`ථත් වෙලා ඇත. මාලක සිල්වාලාගෙන් ගුටි කෑ හමුදා ලොක්කා රෝහලේදී දුන් කටඋත්තරය උසාවි යන්ට පෙර වෙනස් විය. එහෙත් ඔහු ජීවත්ව සිටි. අරණායක ගුටි කෑ පුරවැසියා රොහල් පොලිසියට දුන් කට උත්තරය ටිකට් කපන්නත් පෙර 1989 ඝාතන සිහි ගන්වන තත්වයකි. මෙසේ කටඋත්තර නැති කිරීමෙන් තවත් බොහෝ සමාජ විරෝධී ක්‍රියා සිදු කෙරෙයි.
වාස් ගුණවර්ධනට කවදා හෝ සමාව දිය හැකිද? මෙහිදී නීතිපතිට සාක්‍ෂි හෝ චෝදනා නැත කියන්න පුළුවන. එයත් කටඋත්තර නැති කිරීමකි. එහෙම වුණොත් වාස් නතර වන්නේ ලංකාවේ පොලිස්පති වෙලාය. වර්තමාන පාලනය යටතේ අප එවැනි දේ අත්දැක ඇත. පී. බී. ජයසුන්දර නැවත පත් කිරීම එවැන්නකි. චන්දන කත්‍රිආරච්චිට එරෙහි නඩුවත් අස්කර ගත්තේය. සිද්ධිය වුණේ 1996 දී හෙවත් චන්ද්‍රිකා යුගයේ ය. නඩුව අස්කර ගනු ලැබුවේ මහින්දගේ පාලන කාලයේ ය. කත්‍රිආරච්චිට නැගුණ චෝදනාව කළ මිනි මැරීමය. ඒ තුවක්කුවක් ගෙන සිය ගෙට පැන්න මැරයෙකුට වෙඩි තැබිමක් නොවේ. පිළියන්දල සී.ඩී.චන්ද්‍රරත්න මැරුම් කෑවේ ගමේ සමුපකාර ඡන්දයට සහභාගිවූ නිසාය. රකාන්තලා සින්දු කීවා මෙන්ම එසේ ඡන්දයට යාමත් ලංකාවේ මැරුම් කන වරද්දකි. 2005 ජනාධීපති ඡන්දයේදී ප්‍රභාකරන් ඡන්දය දැමීම තහනම් කළේය. ඒ ඡන්ද වැටෙන්න තිබුණේ එක්සත් ජාතික පක්‍ෂයට නිසාය. ඡන්දය දෙන්ට ගිය කිලිනොච්චි වැසියෙකුගේ දකුණත එල්ටිටිය කපා දැම්මේ දඬුවමක් ලෙසය. නාම්පමුනුවේ සහ කිලිනොච්චියේ සිදුවූ මේ සිද්ධීන් 1989 භිෂන කාලයට සමානය. හැම විටම සිද්ධ වුණේ ඡන්ද අයිතියට අත තැබීමය. එය සමාජ විශ්වාසය කෙළසා දැමීමකි. මෙහිදී විජේවීර ප්‍රභාකරන් සහ චන්දන කත්‍රිආරච්චි ත්‍රිත්වය එක වල්ලේ පොල් බවට පත්වේ. විජේවීර ප්‍රභාකරන් දෙදෙනාම මරා දැමීය. උතුරේ යුද්ධය අවසන් කළහ. ඒත් තවමත් ඒ ක්‍රමය දකුණේ ක්‍රියාත්මක වේ. මේ ක්‍රමය මෙවර යාපනේත් ක්‍රියාත්මක විය හැකිය. හේතුව ප්‍රභාකරන්ගේ ගෝලයන් ආණ්ඩුවේ ආරක්‍ෂාව ලබමින් සන්ධානයෙන් ඡන්දය ඉල්ලන නිසාය.
රූකාන්තලාගේ නඩුව ගෙට පැන කොණ්ඩා කපා, පැට්රල් වත් කර ගිනි තබන්නට තැත් කිරීමකි. එසේම ගස් බැඳීම් දැලි පිහි වලින් කැපීම් පහර දීම් ආදි අනෙක වැරදි නැවත කවදා හෝ දිග හැරෙන දවසක් උදාවනු ඇත. නාසි ඝාතක අයික්මාන්ට දඬුවම් ලැබුණේ වයස 75 පසුවු විටය. එදාට සාක්‍ෂි නැත කී නීතිපතිටත් ඉහළින් ලැබුණ නියෝගය ගැන කරුණු කියන්නට සිදුවනු ඇත. රූකාන්තලාගේ හෘදය සාක්‍ෂිය ගැන ප්‍රශ්න කරන්නට කාටවත් බැරිය. එහෙත් ඔවුන් තොග පිටින් දෙන මේ සමාව සමග නිකුත් වෙන්නේ නරක පණිවිඩයන්ය. පළමුවැන්න මිත්‍රවරුනි, බිය නොවව්. එල්ලුම් ගස් ගියත් ගෙදර යන ක්‍රම බොහෝය. දෙවැන්න රූකාන්තට හැකි නම් තොට බැරි මොකද? අපේ එවුන්ට සමාව දියව්. නැතිනම් වැඩ වරදින්ට පු`ථවන. මේ කියන දෙවන තර්ජනය කලා කාරයෙකුට හෝ සමාජය පිළිගත් ප්‍රභූ වරයෙකුට ආවොත් එය එය එන්නේ රූකාන්ත සම්ප්‍රදායට එරෙහිවීම නිසාය. එය යහපත් නොවේ. ආරක්‍ෂක අංශවල පඩි කන්නෝ චන්ද්‍රීකාගේ කාලයේ පමණක් නොව තවමත් කියන දේ කරන්නට සැදී පැහැදී සිටිති.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

0 Comments