ඉතිහාසය නැවත නැවත ඇවිත් යනවාද?

 රටවට

2012.10.04

ඉතිහාසය නැවත නැවත ඇවිත් යනවාද?


        සාමාන්‍ය ජන ජීවිතය ඔහේ ගලා යන්නකි. ඒ තුල ඇත්තේ ඉතා සරල අපේක්‍ෂාවන්ය. ඉතා බරපතල දෙයක් තමන්ට එරෙහිව සිද්ධවු විටද ඔහේ කමක් නැත කියා කල්පනා කරන්නට සාමාන්‍ය  ජනතාව පුරුදුව  සිටිති. අහිමිවූ පහසුකම ගැන ඔව්හු හඬා නො වැළපුනාහ. තියෙන විදියකින් අවශ්‍යතා සපුරා ගැනීමෙන් සාමාන්‍ය මිනිසා හිත හදා ගත්හ. ඒ තත්වය ගමේ විස්තර කරන්නේ ඒ දණ්ඩ නැති වුණාම බල්ලන්ටත් නාන්න වෙනවා වාගේ කියාය. එහි අර්ථය ඒ දණ්ඩ ඇතිතාක් ගමේ සුනඛයන්ද ඒ දණ්ඩ පාවිච්චි කරති. ඒක නැතිවුණාම ඇලට බැස ගමන් කිරීම විස්තර කරන හැටිය. ඒහෙම වෙන්නේ වෙන කරන්නට දෙයක් නැති වුණාමය. ඒක අපේ සංස්කෘතික බලපෑම හැටියට කෙනෙකුට සමාජ විද්‍යාඥයෙකුට මානව විද්‍යාඥයෙකුට විග්‍රහ කළ හැකිය. එහෙම කල්පනා කළාට කිසිවෙකු කෝප ගත යුතු නැත. එහෙත් මෑතක සිට ජන සමාජය  තුළ ඒ තත්වය වෙනස් වෙමින් පවතී.  මහනුවර නගරයේ පදික වේදිකාවේ වෙළඳාම තහනම් වැඩකි. ඉඳහිට නගර සභා නිලධාරින් සමහර විට පොලිසියද පිරිවරාගෙන පැමිණ වැටලීම් කරති. එහිදී  පදික වෙළෙන්දන් තමන්  භාණ්ඩ පොදි අකුලාගෙන පළායති. ඊයේ පෙරේදා එහෙම රාජකාරියක් හමුවේ පදික වෙළෙන්දන් වැටලීම් කළ අයට පෙරළා පහර දුන් බව අසන්නට ලැබිණ. එයින් නතර නොවී පොදු වෙළඳ පොලේ තිබුණ නගර  සභා උප කාර්යාලයකටද අලාභ කළ බව ඒ ආරංචියෙන් කියැවිණ. 

        මේ තත්වය මහනුවර නගරයට පමණක් සීමාවූ හැසිරීමක් නොවන බව පෙනේ. කලක සිට මේ තත්වය රටපුරා ව්‍යාප්ත වෙමින් පවත්නා බව පෙනේ. ගමට වල් අලි පැන අලාභ හානි සිදුකළ විට ගම්මුන්  වනජීවී කාර්යාලවලට පහර දෙති. බොන්න වතුර නැතිවු විට මාර්ග අවහිර කොට විරෝධතා දක්වති. පාලම් පාරවල් නැතිවු විට ද මෙවැනිදේ සිද්ධ වෙනවාය. පාසලේ විදුහල්පති මාරු කළ විට දෙගුරුන් සිසුන් එක්ව පාසල් දොරකඩ කැරළි ගසති. අළුතින් පත් කර එවන ලද විදුහල්පතිට පහර දී පළවා හරිති. මේවා කටකතා නොවේ. නිතර දක්නට ලැබෙන මාධ්‍ය විසින්ද තහවුරු කරන  වාර්තා වෙති. 

        රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඌව පළාතේ පාසලකට නව විදුහල්පති කෙනෙකු පත් කළේය. දේශපාලනඥයෙකු එසේ පත්කළ අළුත් විදුහල්පතිට වැඩ භාර නොදෙන ලෙස පාසලේ ලොග් පොතේ සටහනක් යෙදීය. දේශපාලනඥයාත් රාජ්‍ය සේවා කොමිෂමත් දෙකම ආණ්ඩුවේය. ගාල්ලේ පාසලේ සිද්ධ වුණෙත් මේ ටිකමය. ගාල්ල සිද්ධියේදී රට දන්නා දේශපාලනඥයන්  කළබල කාරයින් අතර නිරුපද්‍රිතව ගැවසෙනු මාධ්‍ය හරහා මුළු රටම බලාසිටියේය. විද්‍යාලෝකයටත් අලුත් විදුහල්පති පත් කරන ලද්දේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනි. අන්තිමේ අමාත්‍යාංශ ලේකම් වරයාට සියළු වගකීම් පාවරේ. එහෙත් ආසන්න දශක කිහිපයක සිට පාසල් උප ගුරුවරුන්වත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරුන්ව ගණන් ගන්නේ නැත. මේ තත්වය උදාවුණේ දේශපාලනය සියලු බලතල උදුරාගෙන ඇති බැවිනි. ගාල්ලේ රජයේ වියදමින් සැදු බස් නැවතුම්පලේ යකඩ  වැට කියතක් ගෙන කපා දමනු රටම බලා සිටියේය. රජයේ දේපලට හානි කිරීමට හැකි බලවතුන් ඇති බව පමණක්  රට තේරුම් ගත්හ. 

        මේ සිද්ධින් සමග අපට රටට ආශිර්වාදයක්වු සොල්බරි කොමිසමේ බලය බෙදිමේ විධීවිධාන සිහිපත් වේ. එහෙත් මෙහිදී එකක් මතක් කර ගත යුතුව තිබේ. බලතල බෙදීමේ සංකල්පය (Seperation of Power) සුද්දන්ගේ පරිත්‍යාගයක් නොවේ. බලතල බෙදිය යුතුය යන්න වටමේස සාකච්ඡාවක ප්‍රතිපලයක් නොවේ. එය ඉංග්‍රිසි ප්‍රංශ සහ ඇමෙරිකන් යන ඓතිහාසික විප්ලව තුනක් හරහා මිනිසුන් විසින් දිනාගත් අයිතියකි. 1972දී ජනතාව රජ කරවීමට සිරිමා බණ්ඩාරනායක ඇටවූ ජන රජය එතෙක් ලාකේය ජනතාවට ආරක්‍ෂාවක් වූ බලතල බෙදීමේ සංකල්පය (Seperation of Power) හකුළා මැති ඇමතීන්ගේ සාක්කුවලට එබුවාය. ජේ. ආර්. ජයවර්ධන සිරිමාගේ අග්ගලාව  පාර්ලිමේන්තුවෙන් රජ ගෙදරට ගෙන ගියේය. ප්‍රේමදාස චන්ද්‍රීකා ඒ පාරේ ගමන් කළහ. යම් කිසි අපේක්‍ෂාවක් ඇති කරමින් 17 වෙනි සංශෝධනය ඒකච්ඡව්දයෙන් සම්මත කළේ 1972 සිට ඇතිවූ හානිය අවම කර ගැනීම සඳහාය. එහෙත් 2010 වන විට 17 වෙනි සංශෝධනය උප්පැන්නයක් නැති අවජාතක දරුවෙකු ලෙස පළවා හරිනු ලැබීය. අදට වලංගු විච්චූරණ 18ටේ ඉලක්කම විසින් ස්ථාපිත  කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත්විම් ආණ්ඩුවේ සගයන් විසින්ම මෙසේ පාරේ ඉරා දමමින් සිටිති. ඒ යටතේ පත් කළ අල්ලස් හෝ දූෂණ කෙමිසම තෝරු මෝරුන් බේරා හාල් මැස්සන් සොය සොයා කසය කරකවති. දේශපාලුවෙකු කෝටි විසි ගණනක් ආදායම ඉපයූ ආකාරය ප්‍රශ්න කෙරෙන කලුතරින් තැපැල් කළ පෙත්සමට අල්ලස් හෝ දූෂණ කොමිෂම අත  තියන්නටත් බයය. 

        මේ සියල්ල රටක පාලක පන්තිය විසින් ජනතාවට පෙන්වන නරක හැසිරීම් වෙති. මේ තත්වය පවත්නා යහ පාලනයක් විනාශ කරන නරක පූර්වාදර්ශයන් වෙති. මේ තත්වය බුදුගුණාලංකාරය නම් පැරණී පද්‍ය ග්‍රන්ථය මෙසේ විස්තර කරයි.  

                    රජුන් අදමිටු                  වෙත්
                    වෙති මැතිඳෝද           එපවත්
                    දැක උන්ගේ                  පවත්
              බමුණු ගහපතියෝද එ ගනිත් මේ විස්තර කරන්නේ ලොක්කන්ගේ පූර්වාදර්ශ සොක්කන් ක්‍රම ක්‍රමයෙන් අනුගමනය කිරීමකි. පූර්වාදර්ශ දෙ වර්ගයකි. හොඳ පූරවාදර්ශ සහ නරක පූර්වාදර්ශ යන ලෙසය. අධිකරණය යහපත් පූර්වාදර්ශ පමණක් තෝරාගෙන අනුගමනය කරන බවට පිළිගත් සම්මතයක් පවතී. වරදක් කොට අසුවූ විට කුඩා දරුවන් ඇයි එහෙනම් අයියාත් කරන්නේ යනුවෙන් කරන විමසීම නරක පූර්වාදර්ශ අනුගමනය කිරීම පිළිබඳ ප්‍රාථමික උදාහරණයකි. එහෙත් මුලින් විස්තර කළ ආකාරයට අද රටේ දකින්නට ලැබෙන සිද්ධින් විසින් නරක පූර්වාදර්ශයන් නිර්මානය කරති යයි කියන්නට සිදුවේ. හෙවත් මේ සිද්ධ වන්නේ බුදුගුණාලංකාරයේ විස්තර කෙරෙන තත්වයයයි. බුදුගුණාලංකාරයට අනුව එහි ප්‍රතිපලය වුණේ විසාලා මහනුවර ඇතිවු මහා විනාශයයි.

        ආසියාවේ ආශ්චර්ය මේ ගමන් කරන්නේ විසාලා මහනුවර ව්‍යසනය කරාද? තම වාසියට  බලය පාවිච්චි කිරීමේ සීමා තමන් වෙතින් ඉක්ම යමින් පවත්නා බව කවුරු කවුරුත් තේරුම් ගත්තාට දෝෂයක් නැත. පසුගිය වසර කිහිපය තුල ලංකාවේ පොලිසිය කොළඹ සහ පිටපළාත්වල පැවති කියක්දෝ පිකටින් ව්‍යාපාර අධිකරණ නියෝග ලබාගෙන උපන් ගෙහිම පාගා දැමූ  බව අපට මතකය. කටුනායක වෙඩි කා මළ තරුණයාගේ අවමංගල්‍ය කටයුතු කරන ආකාරය අධිකරණය ලවා නියම කරවා ගත්තේය. මළ ගෙදරට අදාල නියෝගය රැනෙ ගියේ කවුද යන්න දන්නෝ දනිති. හලාවත වැල්ලේ පැවති ධීවර විරෝධතාව අතර ද,  අසරණයෙකු මැරුම් කෑවේය.  ඒ මළ ගෙදරට  ආණ්ඩුව දුන් ලක්‍ෂ පහක සල්ලි ගෙන ගියේ ඉහළම පොලිස් නිලධාරියෙකු අතේ බවට කටකතා පැතිරිණ. විශ්ව විද්‍යාල ගුරු සේවක වර්ජනය අවලාද මැද තුන් මාසයක් සාර්ථකව රට හරහරද ගමන් කළේය. එහෙත් ඊට එරෙහිව අධිකරණ නියෝග නිකුත් කෙරුණේ නැත. 

         අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දීම නිසා මහා ආරවුලක් ඇතිවි තිබේ. මේ වනවිට මේ සතියේ දින දෙකක්ම උසාවි වැඩ කටයුතු ඇනහිට ඇත. අධිකරණ ක්‍රියා මාර්ගයන්ට එරෙහිව තහනම් නියෝග ලබා ගන්නට පාලකයන්ට උසාවියක් නැත. මේ වනවිට ශ්‍රී ලංකාවේ පාලක පාලන පන්ති දෙක මැනවින් වෙන් වෙමින් පවතී. මේ තත්වය 17 වෙනි සංශෝධනය විසිකොට 18 වෙනි සංශෝධනය ගෙන ඒම විහිලුවක් බව කියා පාන්නකි. හෙවත් ඉංග්‍රිසි ප්‍රංශ අමෙරිකා විප්ලව තුනක් විසින් ඉතිහාසය පුරා සහතික කර ඇති බලතල බෙදීමේ සංකල්පය (Seperation of Power) යළි මේ රටේ සක්‍රිය විමකි. මේ හරහා ලංකාවේ පාලකයන් හැර අන් සියලු දෙනාට රටේ ජනතාවට ප්‍රශ්න තිබෙන බව ඔවුන්ට බඩ කටවල් ඇති බව සිහිපත් කරවන නිමේෂය උදාවීම පිළීබඳ සුබ ලකුණකි. සමෘද්ධි බඩු මල්ලට බත් ටිකට අරක්කු විදුරුවට කතිර ගසන බහුතරයට මේ පණිවිඩය නිකුත් කළ හැකි බුද්ධිමතුන්ගෙන් සමන්විත අධිකරණ විශ්ව විද්‍යාල පද්ධතීන් මෙන්ම නිදහස් වෘතිකයන් මේ නිමේෂය මැනවින් කළමනාකරණය කරයි නම් එය රටට මහත් ආශිර්වාදයකි. නීති විද්‍යාව හැදෑරූ අය මේ කාරණව සිද්ධවෙන හැටි දනී. රටක සමාජයක පවත්නා නීතිය අක්‍රිය වූ විට කැලෑ නීතිය එහි අඩුව පුරවන බව ප්‍රකාශ කර තිබේ. එය වලක්වා පවත්නා නීතිය ස්ථාපිත කිරීමේ වගකිම වඩාත් පැවරී ඇත්තේ අධිකරණ සේවයට බව අප කිව යුතු නැත. 

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.  









Post a Comment

0 Comments