රටවට
පොල් සොරා ගත් සිසුවිය සහ රට
2013.02.21
ඌ
ගතවූ සතියේ රට බලා සිටිි ප්‍රමුඛ සිද්ධි දෙකකි. එකක් පොල් සොරකමකට උසාවි ගෙනගිය 13 හැවිරිදි පාසල් දැරියකගේ කතාවයි. දෙවැන්න මොරටු විශ්ව විද්‍යාල සිසුවා බොල්ගොඩ ගඟට පැන දිවි නසා ගැනීමය. මෙම සිද්ධින් දෙකම බැලූ බැල්මට පුළුල් සමාජ කතිකාවක් සඳහා ජනතාවට අත වනන බව පෙනේ. හොරණ පාසල් දැරිය අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව ඝාතනය නොමරා මරා දැමුවාට සැක නැත. සරසවි සිසුවා තමන්ම සිය පන නසා ගත්තේය. මේ සිද්ධි දෙක හරහා රට අවදි වුනාද? මැදහත් ජනතාව විසින් මෙම සිද්ධීන් සම්බන්දව ගන්නා ලද නිගමනයන් මොනවාද? උණු උණු ප්‍රවෘත්ති වාර්තා කිරීමෙන් මාධ්‍ය බොහෝ දේ අපේක්‍ෂා කරති. රෝගයන් ගැන වාර්තා කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවිත අපේක්‍ෂාවෙනි. රිය අනතුරු ගැන වාර්තා කරන්නේ අවදානම ගැන දැනුවත් වීම සඳහාය. භයානත අපරාධ පළ කිරීමෙන් බලධාරින්ගේ විශේෂයේ පොලිසියේ ඇස් අරවති. ප්‍රවෘත්ති වාර්තා කරණය හරහා ජනතාව තුල ගැඹුර කතිකාවක් ඇති කිරීම මාධ්‍යයේ අපේක්‍ෂාව යි. ඒ අනුව ශිෂ්‍ය ජීවිත දෙකක් ළඟ ළඟ මුහුණ පෑ සිද්ධීන් හරහා රටේ හරවත් කතිකාවන් ඇතිවී නැත. තමන් මුදාහල රට දැනුවත් විය යුතු මේ ඛේදවාචක ගැන රට, රටේ ජනතාව නිහඬ නම් මාධ්‍යයට කියන්නට සිද්ධ වන්නේ කුමක්ද? මේක උඹලාගේත් අපේත් රට බව සැබෑය. එහෙත් බහුතරය වන කතිර ගසන උඹලා නිදි වැදී ඇත්නම් විනාශ වෙයව් කියා ය.
සොරකම් සහ සිය දිවි නසා ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන ලංකාවේ දෛනික සරල සුලභ ආරංචි වෙති. වී විකුණා ගන්ට නොහැකි වුනාම පොළොන්නරු ගොවීන්ද දිවි නසා ගනිති. එහෙත් ඒවා වෙන වෙනම කතා කළ යුතු සිද්ධින් නොවේ. නමුත් හොරණ පොල් සොරකම සහ මොරටු සරසවි සිසුවාගේ මරණය දෙකම රටෙන් විමසන්නේ එකම ප්‍රශ්නයකි. එනම් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර යටත් විජිත කාලයේ ලංකා වාසින්ට ලබාදුන් නිදහස් අධ්‍යාපනයට මොකද වුණේ කියාය. එසේ අසන්නට සිද්ධ වෙන්නේ නිදහස් අධ්‍යාපනය යටතේ ගෙවුණ වසර හැට ගණනක් පුරා පාසල්වල තීන්ත ආලේප කරන ලද්දේ ආණ්ඩුවේ සල්ලි වලින් නිසාය. සුද්දාගේ කාලයේත් පාසල් ළමුන්ට දිවා ආහාරය ආණ්ඩුවේ වියදමින් ලබාදුන් නිසාය. එපමණක්ද? උසස් අධ්‍යාපනය සඳහා සරසවි ගිය සිසුන්ට ශිෂ්‍යාධාර ලබා දුන් නිසාය.1943 සිට මෑතක් වෙන තෙක් අධ්‍යාපනය සියළු දරුවන්ට නිර්බාධීතව ආණ්ඩුව ලබාදිය යුතුය යන්න රටේ මූලික අයිකිවාසිකමක් විය. ඒ අයිතිය අපට ලැබුණේ සුද්දාගේ කාලයේ ය. එය අපූරු කතාවකි.
යටත් විජිත යුගයේදී මිෂනාරි අධ්‍යාපනය නිසා ජාතිකත්වය යටපත් විය. ඒ අවදානම දුටු සිංහල දෙමල මුස්ලිම් නායකයෝ විවිධ ව්‍යාපාර කළහ. ඒ ඡන්ද බලාගෙන නොවේ. රටේ සාමාන්‍ය ජනතාවගේ අයිවාසිකම් ආරක්‍ෂා කිරීම උදෙසාය. ඒ හරහා ඒකාරාශීවු ජාතික එකමුතතුව යටත් විජිත වාදින් මැඩ රට වෙනුවෙන් විවිධ ජයග්‍රහණයන්ද ලබා ගත්හ. ඉතිහාසය තුල අනගාරික ධර්මපාල ආරුමුග නාවලර්, සිද්ධි ලෙබ්බේ ආදිහු ගැන ලියැවී ඇත්තේ ඒ නිසාය. එදා කාරක සභාපති තනතුරු දැරු ඩී. එස්. සේනානායක සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ආදි ජාතික නායකයෝ තම පුරවැසියන්ට ලබාදිය හැකි උපරිමය ලබා දීමට කැපවී ක්‍රියා කළහ. මේ ක්‍රියාවලිය තුළ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර නිදහස් අධ්‍යාපන අයිතිය ජාතියේ දරුවන්ට උරුම කර දුන්හ. නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා යටත් විජිත යුගයේත් පාසල් දරුවන්ට දිවා ආහාරයත් නොමිලයේ සැපයිණ. එහෙම කළේ එදා ජනතාව ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය. ඊට සාපේක්‍ෂකව අද පාසල් ළමයින්ට දිවා ආහාරය සැපයෙන්නේ නැත. එහෙත් පුදුමය නිල ඇඳුම් සහ පොතපත ආණ්ඩුව විසින් නොමිලේ සපයනු ලැබේ. එහෙම ජනතාවාදීව ක්‍රියා කරන ආණ්ඩුව පාසල් බිත්තිවල තීන්ත ගෑමට ළමයින් මුදල් හිඟා කති. මේ තත්වය පරස්පරයකි. මේ පරස්පරය හරහා ජනතාව තේරුම් ගත යුත්තේ එක දෙයකි. එනම් සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරලා වර්තමාන පාලකයන් ගෙන් වෙනස් වන ආකාරය පමණකි. සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර දැයේ දරුවන්ට නොමිලේ අධ්‍යාලනය දුන්නේ අ`ථත් ස්කෝල ඉදි කෙරුවේ සල්ලි ගෙදරින් ගෙනත් නොවේ. වර්තමාන පාලකයන් නිල ඇඳුම් සහ පොතපත නොමිලේ දෙනනේත් තමන්ගේ ගෙදරින් ගෙනැල්ලා නොවේ. එහෙත් එහෙම ලෝබ නැතිව බෙදන වර්තමාන පාලකයන් බිත්තිවල තීන්ත ගෑමට ළමයින්ගෙන් හිඟා කනවා පමණක් නොවේ. ගම්වල කාලයක් පැවති පාසල්ද පිළීවෙලින් වසා දමමින් සිටිති.
යටත් විජිත පාලනය තුල අප දිනාගත් නිදහස් අධ්‍යපනය පාසල් විෂය ධාරාව නොමිලේ ඉගැන්වීමෙන් පමණක් නතර නොවිණ. පාසලට ආ දරුවාට පන්ති කාමරයෙන් එපිටට ගිය කරුණාවක් දැක්වීය. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ලාංකේය දරුවා වහා මධ්‍ය විද්‍යාල කරා කැඳවූහ. ඒ දරුවා පරිපූර්ණ මිනිසෙකු කිරීමට අවශ්‍ය සියළු දේ සිදුවිය. ශිෂ්‍යත්ව හපනාගේ ගමේ ගෙදර නැතිබැරිකම සොයා හඳුනා ගත් දරුවාගේ බරපැන ආණ්ඩුවට පැවරිණ.
මෙවන් එක් දරුවෙක් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුලත් විය. හෙතෙම අනුරාධපුරයේ තඹුත්තේගම උපන් ගැමි දරුවෙකි. ඔහුගේ පුද්ගල තොරතුරු අනුව පියා මියගොස්ය. රෝගී වැන්දඹු මෑණියන් යැපුණේ පින් පඩියකිනි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන තෙක්ම ඒ දරුවා රැක බලා ගත්තේ නිදහස් අධ්‍යාපන ක්‍රමය විසිනි. එකී දරුවාට විශ්ව විද්‍යාලයෙන් පිටවන තෙක් ඔහුට ශීෂ්‍යත්වය පිළීසරණ විය. උපාධීය ලැබිමෙන් පසුව ඔහු කෙටි කලක් ගුරුවරයෙකුව සේවය කළේය. ඉන්පසුව හෙතෙම ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය. ඔහු හැමදාම නැතිබැරි ගැහැනුන් මිනිසුන්ගේ උවමනා එපාකම් සපුරා දීමේ සු විශේෂ උවමනාවකින් ක්‍රියා කළේය. කිසි දිනෙක පගා කොමිස් මුදල් පසුපස හඹා ගියේ නැත. පීඩිත ජනතාව කෙරෙහි මහත් සේ භක්තිමත්වූ හෙතෙම කිසි විටෙකත් නිල වගකීම් නිසා සමාජයට වෛර කළේ නැත. තමන් වෙත ආ හැම ජනතා ගැටළුවම යථාර්ථවාදිව තේරුම් ගත්තේය. යහ පැවැත්ම කෙරෙහි භක්තිමත් විය. සියළු තත්වයන් මැද ඔහු නිරන්තර එක් උදාර සිතුවිල්ලකින් ආඩම්බර විය. එනම් තමන් ජනතාවගේ බදු මුදලෙන් යැපුණ රටට ණය නැති සාර්ථක මිනිසෙකුය යන අබිමානයෛනි. දිසාපති තනතුරක්ද දරා හෙතෙම විශ්‍රාම ලැබීය.
දිවා ආහාරය ආදි සහන සැපයීමට කන්නන්ගලා සටන් කළේ සුද්දන් සමගය. වර්තමාන පාලකයන් සල්ලි ඉල්ලා සටන් කරන්නේ විමල් විරවංශට අනුව භාණ්ඩාගාරයේ ආර්ථීක ඝාතකයන් සමගය. බන්දුල ගුණවර්ධනත් එස්. බී. දිසානායකක් දෙදෙනාම කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයේ පල ප්‍රයෝජන වෙති. කන්නන්ගර මෙන්ම බන්දුල ගුණවර්ධන හා එස්. බී. දිසානායක දෙදෙනාත් ජනතාව පත් කළ මහජන නියෝජිතයන් වෙති. බනිස් ගෙඩියෙන් නිදහස් අධ්‍යාපනය පටන් ගත් කන්නන්ගරලා රජයේ වියදමෙන් ගම්බද දිළිඳු දරුවන් සිවිල් සේවය තෙක් ගෙන ගියහ. මේ විශිෂ්ඨයා ජීවිතයේ අවසන් කාලය ගෙවන ලද්දේ රජයෙන් සැපයුන සහනාධාරයෙනි. මේ තොරතුරු අද ජීවත්වන වැඩිහිටිපරම්පරාව දනිති. බන්දුලලාත් එස්. බී. ලාත් නොමිලේ උගත් ඒ වැඩිහිටි පරම්පරාවට අයත් ය. මේ තොරතුරු වර්තමාන පාසල් දරුවන් විසින් දැනගත යුතව ඇත. එහෙම කියන්නේ අද පාසල් නඩත්තුවට දරුවන් සොරකමේ යවන්නේ අධිරාජ්‍යවාදින් නොවන බව දැන ගැනිම සඳහාය.
පාසල් දරු දැරියන් නිවහල් මනසකින් මෙන්ම උජාරුවෙන් පාසල් යා යුතුවේ. වර්තමානයේ අපේ දරු දැරියන්ට ඒ නිවහල් මනස තනිව ඇතිකර ගත නොහැකිය. ඔවුන්ගේ වැඩිහිටියන් වාසය කරන පරිසරයට ඒ තත්වය නිර්මානය කර දිය නොහැකිය. හේතුව තුන්වන ලෝකයේ රටක් වන නිදහස් ශ්‍රී ලංකාව සුභ සාධන ආර්ථිකයක හිරවී සිටින නිසාය. 1940 ගණන්වල සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරලා විස්තර කළ ඒ තත්වය යටත් විජිත පාලකයන් දෙ හිතක් නැතිව පිළි ගත්හ. නිදහස ලබා හැට වසරක් ගෙවුණ අදටත් ලංකාව තවමත් එතැනමය. එදා දරුවෝ ඉගෙණීම සඳහා අල්ලට සිඟා කෑහ. අද දරුවන්ට ඉගෙණීම පිණීස සොරකමේ යන්ට සිදුවී ඇත.
අද ගම්බද පාසල් වැසෙමින් පවතී. ඊට ප්‍රධාන හේතුව ගුරුහිඟය නොවේ. ආණ්ඩුව පාසල් නඩත්තු නො කිරීමය. පාසල්වල හුනු ටිකක් ගාලා දෙන්ට බැරි පිරිසක් රට ආණ්ඩු කරති. ඔවුන්ගේ බැරිකම පාසලේ හුනු ගෑම පමණක් සීමා නොවේ. ඩෙක්ස් පුටු සැපයීමටවත් ඔවුන් සමත් නොවේ. පළමු වසරට යන දරුවෙකුට පැවරෙන වගකීම් බොහෝ වෙති. නව ගොඩනැගිල්ලක්. අල්මාරියක්. පුටුවක්. බංකුවක්. ඒවා ඉල්ලීම් නොවේ. නියෝග වෙති. ඒ ඉල්ලීම් ඉටු නොකරයි නම් ළමයාට පාසලක් නැත. හොරණ සිද්ධිය මේවායේ ඍජු ප්‍රතිපල වෙති. හොරනින් එළීයට ආවේ පාසල් යන දරුවෙකු කළ හොරකමක් නොවේ. රටේ පාලකයන් අපේ නිදහස් අධ්‍යාපනය විනාස කිරීමේ පිළිකුල් සහගත කතාවයි. තිස් අවුරුදු යුද්ධයක් කළ රට පාසල් බිත්තියක හුණු ටිකක් ගාන්න බැරි තරමට බංකොලොත් වෙලාය. ඒ කතාව කියන්නේ පාසල් දරුවන් හොරුන් මංකොල්ල කාරයන් කරවන විදුහල්පතියන් පගා කාරයන් කරවන ලංකාවේ කතාවයි. කුඩා දරුවන්ට අධ්‍යාපනය එපා කරවන වාර්ෂීකව පාසල් සිය ගණන් වසා දමන අපූරු පාලනයක දුක්ඛදායක කතාව යි.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

0 Comments