ඌරුබොක්කේ අචලා ප්‍රියදර්ශනී හරහා රටේ යහපාලනය දැකීම

 රටවට

2013.02.07

 ඌරුබොක්කේ අචලා ප්‍රියදර්ශනී හරහා රටේ යහපාලනය දැකීම


    මාතර ඌරුබොක්කේ හීගොඩ උපන් අචලා ප්‍රියදර්ශනී නීති උපාධී අපේක්‍ෂීකාවකි. ලංකාවම දන්නා පරිදි පසුගියදා  සිය වම් අතේ  වැල මිට දක්වා කොටස ඇයට අහිමි විය. මහ පාරේදී මුදල් පසුම්බි නැතිවීම, අත කන කර බඩු නැතිවිම මෙන් දැන් ලංකාවේ රජයේ රෝහලකදී රෝගියෙකුගේ අත් පා වැනි ශරීර අවයව පමණක් නොව ජීවිතද අහිමි වීමේ ඉඩකඩ සියයට අනු නවයකි. හෙවත් සාමන්‍ය සිද්ධියක් වී ඇත. මේවා ආසියාවේ ආශ්චර්ය ලෙස දක්වා සිටීම ආණ්ඩුවට ගජ වාසියකි. එවැනි පටු දේශපාලන අවලාද වලින් සිදු වන්නේ කතාබහට ලක්විය යුතු රටේ  පවත්නා තත්වය යටපත්ව ජනතාවට හානි සිදුවිම පමණකි. එනිසා මෙවැනි සිද්ධීන් හරහා සමස්තය ගැඹුරෙන් විග්‍රහ කිරීම මාධ්‍යයක වගකීමකි. ඒ වගකීම පැහැර හැරීම රටේ අයහපත් පාලනය අනියමින් ස්ථීර වීමකි.


    අචලා ප්‍රියදර්ශනීට අත අහිමිවීම රජයේ රෝහල් කරා ප්‍රතිකාර අපේක්‍ෂාවෙන් යන බහුතර ජනතාව තිගැස්සීමට සමත් විය. අතක ඇට බිඳුන විටෙක නිවැරදිව ප්ලාස්ටරයක් දැමිය නොහැකි රෝහල් පද්ධතියක් ගැන ආසියාවේ ආශ්චර්ය කරා යන ආණ්ඩුවකට ආඩම්බර විය නොහැකිය. මේ සිද්ධිය ගැන විමල් වීරවංශ ලවා ජාත්‍යන්තර කුමන්ක්‍රණ අවලාදය නගන්නට ආණ්ඩුව උත්සාහ කළේ නැත. ඒ නිසාම අචලා ප්‍රියදර්ශනීගේ සිද්ධිය ජාතික මට්ටමේ කතාබහට මුල පුරා ඇත. හෙවත් ස්වයංක්‍රීය අතක් ලබාදෙන තරමට අචලා ප්‍රියදර්ශනී පිළීබඳ සිද්ධිය ධනාත්මකව අවධානයට භාජන විය. මේ සිද්ධියට වගකිව යුතු අදාල රෝහලේ වෛද්‍යවරු කියා සිටියේ මේ ඛේදවාචකය කලාතුරකින් සිදුවිය හැකි අත් වැරදීමක් බවය. මේ ආකාරයටම දින කිහිපයක් වයසැති බිළිඳෙකුගේ ඇඟිල්ලක්  කපා දැමීමක්ද වරක් වාර්තා විය. රටක පාලකයා සහ පාලිතයා යන දෙ කොටසම ජනතාවගේ සේවකයන් වෙති. ඔවුන් එකිනෙක ඉස්මතු නොවී සිය වගකීම් ඉටු කළ යුතුවේ. රටේ පොදු සේවා යහපත් වන්නේත් ජන ජීවිතය ආරක්‍ෂා වන්නේත් පාලකයා සහ පාලිතයා සමබර වුනොත් පමණකි. සේවකයෙකු නිලධාරියෙකු අතින් වරදක් සිදුවු විට යළී එවැන්නත් සිදු නොවන තැනට පිළීයම් යෙදීමේ වගකීම පවත්නා ආණ්ඩුව වෙත පැවරෙයි. ඒ අනුව අචලා ප්‍රියදර්ශනීගේ අතක් කපා දැමීමට වග කිවයුතු සෞඛ්‍ය අංශයෙන් සිදුවු පළමුවන සහ එකම අත් වැරැද්ද මෙය නොවීම නිසා අචලා ප්‍රියදර්ශනීට අතක් ලබාදිමෙන් පමණක් මේ සිද්ධිය අවසන් කළ නොහැකිය. හේතුව මේ සිද්ධිය සෞඛ්‍ය සේවා ඉතිහාසයේ සිදුවූ එකම සිද්ධිය නොවන හෙයිනි.


    එසේම කෙස් ගස් ඉඳීකටු මිනිස් නියපොතු ඇතුලත් එන්නත් කුප්පි ගැන නැවත නැවත වාර්තා වීමද අප සැලකිල්ලට ගත යුතුව ඇත. ඒ තත්වය ගැන බලධාරින් තවමත් කිසිවක් කියා නැත. ඒ සඳහා ලැබෙන උත්තරයද කලාතුරකින් සිදුවිය හැකි අත් වැරදීමක් නම් තත්වය කුමක්ද? අන්න ඒ අවස්ථාව නම් ආසියාවේ  ආශ්චර්ය කියා සිත නලවා ගත්තාට වරදත් නැත. එතනදී  මුලින් කී ලෙස අවාසිය ජනතාවට මුළුමනින්ම විඳීමට  සිදු නො වන්නේදැයි කෙනෙකුට ඇසිය හැකිය. මේවා දැක දැක මේ ආණ්ඩුවට ඡන්දය දුන් මිනිසුන් විසින් මේ කරුමය සිය හිසමත තබාගත යුතුව තිබේ. අචලා ප්‍රියදර්ශනීට අත අහිමිවීම, දින කිහිපයක් වයසැති බිළිඳාගේ ඇඟිල්ලක් අහිමිවීම, ප්‍රතිකාර අහිමිව ගිය අනන්තවත්  ජීවිත ගැන අර කලාතුරකින් සිදුවිය හැකි අත් වැරදීමක්ය යන රෙඩිමේඩ් උත්තරය කියා සැගවෙන්න පුලුවන. නමුත් භාරත ලක්‍ෂමන් පේමචන්ද්‍ර ඝාතනය, මන්නාරම් අධිකරණයට පහරදිම, කැලණියේ හසිත මඩවල ඝාතනය ආදි දහසක් එකක් අවනීතික ක්‍රියාවන් ගැන වගකිව යුතු පොලිසියට අර උත්තරය  සැපයිය නොහැකිය. හේතුව කලාතුරකින් සිදුවිය හැකි අත් වැරදීමක්ය යන්න පොලිසිය සම්බන්ධව කියන්නට බැරි කමය. මෙයින් දින කිහිපයකට පෙර මීගමු ප්‍රදේශයේ රාත්‍රි මංකොල්ලයක ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මැරුම් කෑවේය. ඉන් රට තේරුම් ගත්තේ කුමක්ද?  ලංකාවේ  පොලිසියට  වැඩ හොඳටම පුළුවන් බවය. එහෙත් වාසියට හෝ ඉහළ බලපෑම නිසා පොලිසිය කලක සිට තම නිල කබායේ ජරාව ගා ගනිමින් සිටී. මෙන්න මෙතනදී  මේ ආණ්ඩුවට කතිර ගැසූ මිනිසුන් මේ කරුමය සිය හිසමත තබාගත යුතු බව කිව යුතුව තිබේ. එසේ කියන්නේ තම ආණ්ඩුව වැටෙන තෙක් නො සිට යහමගට ගැනීම රටේ ජනතාවගේ වගකීම බව සිහි කරමිනි. බුද්ධ දේශනාවේ දක්වෙන ආකාරයට ශාස්තෘ වරයෙකට වුවත් කළ හැක්කේ මග පෙන්විම පමණකි. ජනතාව වෙනුවෙන් මාධ්‍යයට විපක්‍ෂයට යා හැකි දුරක් ඇත.


    විවිධ හේතු නිසා  ජන මාධ්‍යයට මෙන්ම විපක්‍ෂයටද, ජනතාව මුන නො ගැසෙයි. රටේ බහුතර ජනතාව ඇටි කෙහෙල් ගසට නැති උගුඩුවන්ව ජාතිවාදයෙන් යුද ජයෙන් මත්ව සිටිති. විමල් විරවංශගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතාවෙන් කුපිතව ලෝකයටම වෛර  කරති. මහින්ද රාජපක්‍ෂ තිස් අවුරුදු යුද්ධය දිනා දී ජීවමාන දුටු ගැමුණුව සිටිති. රටේ බහුතරය ඒ ගැන කෘතවේදීම සිටිති. එහෙත් දැන් සිද්ධ වන බොහෝ දේ යුද්ධය දිනු පින්කමට හිලව් කළ නොහැකි තැනට තල්ලු වෙමින් පවතී. හෙවත් සම්මාදන් කොට මරණයෙන් බේරාගත් ගවයන් නැවත මස් කඩයට යවන ජාතියේ ඒවාය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පසෙකින් තිබියේවා.  භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර, හසිත මඩවල ආදිහු මහින්ද රාජපක්‍ෂගේම කොටස් වෙති. මේ ගැන ජනතාව පොලිසියට දොස් නො කියති. ඒ පොලිසියත් මහින්දගේම කොටසක් නිසාය. ජනතාව මේවා දැන දැනත් ආණ්ඩුව සමග සිටිති. ඒ  හෙටටත් ජනතාවගේ  අපේක්‍ෂාව මහින්ද රාජපක්‍ෂ බවට කිසිදු සැකයක් නැත. මේ කියන මහින්ද රාජපක්‍ෂ මැදමුලනින් කොළඹ පැමිණී ඩී. ඒ. රාජපක්‍ෂගේ පුත්‍ර මහේන්ද්‍ර පර්සි රාජපක්‍ෂ නොවේ. මේ කියන මහින්ද රාජපක්‍ෂ  රටේ සියයට හැටක බහුතර ජනතා ප්‍රාර්ථනාවේ සංඛේතය යි. ඒ ජයග්‍රාහි පොදු ජනතා සංඛේතය ප්‍රභාමත්ව සිටියදී එකී ප්‍රභාමත් ජීවමාන මහින්දගේ  සමහර කොටස් පමණක් සාක්‍ෂි නොමැතිව ඝාතනයවී වැළලී හෝ අළුවී යත හැකිද? එවැන්නක් සිදු නොවිය යුතුය යන්න මහින්ද සමග සිටින බහුතර ජනතාවගේ  සද්භාවි විශ්වාසයයි. මේ නිසා  රටේ කැකෑරෙන තත්වය මහින්ද රාජපක්‍ෂ විසින් බරපතල ලෙස සලකා බැලිය යුතව තිබේ.


    රටේ ජනතාවට මහින්ද රාජපක්‍ෂ යනු  අරයාගේ  මෙයා නොවේ. මෙයාගේ අරයාත්  නොවේ. රටේ භාර කාරයාය. ජනතාවගේ ආරක්‍ෂකයාය. රටේ බහුතර ජනතාගේ අපේක්‍ෂාව ය. මහින්දම කියන ආකාරයට ඔහු ජනතාවගේ ආඩම්බර තාත්තාය. එකී නියෝජනයන් මූර්තිමත් වන තාක් කාලයක් මැදමුලන  මහේන්ද්‍ර පර්සි රාජපක්‍ෂ කෙරෙහි ජනතාව ලෙන්ගතු වනු ඇත. ඒ ලෙන්ගකම රැක ගැනිමට නම් ඉහතින් කි පරිදි රෝහලට එන ලෙඩුන් අංග විකල කොට ගෙදර යවන සෞඛ්‍ය කළමනාකරණය වෙනස් වහා කළ යුතුවේ. සමහර හොරුන් පමණක් අල්ලා කුදලමින් රට දන්නා මිනි මරුවන්ට සැලියුට් ගසන පොලිසිය ගෙදර යැවිය යුතුවේ. පොලිස් කොමිසමේ කාර්ය භාරය අගති විලංගු රහිතව මුදා හළ   යුතුවේ. මහාධීකරණ විනිසුරු සරත් අඹේපිටිය මරා දැමූ පොට්ට නවුෆර්ටත් සාධාරණ විනිශ්චයක් ලබාදුන් අධීකරණයට ඒ සමබරතාව තබා ගැනීමේ ඉඩකඩ සැලසිය  යුතුවේ. විධායන ජනාධීපති පත් කළ රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ නිර්බාධීතව ක්‍රියාත්මක  කළ යුතුවේ.


    බාල ඩීසල් ගෙන්වා ගැනීම කලාතුරකින් සිදුවිය හැකි අත් වැරැද්දක් නම් විය නොහැකිය. මේවා සැලසුම් කළ ටෙන්ඩර් මගඩි වෙති. විභාග දෙපාර්තාමේන්තුව ආසන්න වසර 15ක් තිස්සේ  අසාර්ථක වෙමින් පවතී. ඒ තත්වය අධ්‍යාපන අමාතාංශය සමාලෝචනය කළේ නම් විභාග කොමසාරිස්ට සේවා දිගු දෙමින් තබා ගන්නේ නැත. අසාර්ථක ආයතන ප්‍රධානින් බලධාරින්ගේ සැලකිල්ල ලැබීම  සියළු විභාග දූෂණ පාලකයා විසින් ම සැලසුම් කිරීමය. මෙසේ චෝදනා කිරීම අසාධාරණ හෝ ද්වේෂ සහගත නැත. ප්‍රශ්න පත්‍ර ටියුෂන් කාරයන්ට විකිණීම, විභාග ශාලාවකට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය තීරණය කළ නොහැකි වීම, විභාග දූෂණ සිදුවු විට පින් ලකුණු දී පාසල් දරුවන් අවතක්සේරු කිරීම ගැන බලධාරින්ට කට උත්තර නැත. හෙවත් අචලා ප්‍රියදර්ශනීගේ අත කැපූ දොස්තරලා දුන් උත්තරයවත් ගලපන්නට නොහැකිය. රාජ්‍ය අංශයේ පල් හොරුන් රටට හෙළි කරන කෝප් වාර්තා සියල්ල පාර්ලිමේන්තුව නම් කුණු බක්කියේ සඟවා ඇත. රජයට සිදුවූ මිලියන 619 ක පාඩුව ගැන  නියෝජ්‍ය රේගු අධිකාරිගේ නඩුව ශ්‍රේෂ්ඨාධීකරණය නිෂ්ප්‍රභ කළේය.   2010 ඔක්තෝම්බර් මාසයේ 19 වැන දින පැවරූ ඒ නඩුව විසි කළේ 2013 පෙබරවාරි 01 වෙනිදාය. මෙයින් පෙනෙන්නේ මානව හිමිකම් නඩු ගැන  අධීකරණය කල් මරණ හැටි පමණක් නොවේ. කෝටි ගණනක් ගසා කෑ නීතිපතියෙක්  නීතියෙන් බේරී ගිය හැටිත්  ලෝකයම බලා සිටි. ළඟදී ශ්‍රී ලංකා පරිපාලන සේවා  නිලධාරින් දෙදෙනෙකු  පොලිසියට කොටු විය. පළවැන්නා ලිංගික අල්ලසක් ඉල්ලූ බදුල්ලේ ප්‍රාදේශීය ලේකම් වරයෙකි. දෙවැන්නා ව්‍යාජ රියැදුරු බලපත් සකසා දුන් මෝටර් රථ වාහන සහකාර කොමසාරිස් වරයෙකි. එක් යුගයක ශ්‍රී ලංකා පරිපාලන සේවය පිට කොන්ද ශක්තිමත් මිනිසුන්ගේ එකතුවකි. අද එය පල් හොර ගුහාවකැයි නො කියන්නට හේතු විමසිය යුතුව තිබේ. යහ පාලනය යනු වහා සංවේදි වන ක්‍රියාවලියකි. ඒක  හරියට එලාර රජ්ජුරුවන්ගේ  ගංටාරය  සම්ප්‍රදාය වාගේය. පාරේ යන එළදෙනකටත් හැඬවිය හැකි එකකි. අද සිංහල ජාතිවාදීන්ට දෙමල රජෙකුවූ එලාර වසර 22ක් ලංකාව පාලනය කළේ එදා සිංහලයන් නොසිටි නිසාද? නැත. ජනතාව අපේක්‍ෂා කළ යහ පාලනය පැවති නිසාය. සාමාන්‍ය ජනතාවසාධාරණ මිනිසුන් මිස  ජාති වාදීන් නොවෙති.  

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.



Post a Comment

0 Comments